ෂදායි (shaddai) යනුවෙන් නම් කර ඇති මේ යාත්‍රාව අඩි 492 ක දිගකින් යුතුය. මෙහි ප්‍රධාන කැබිනය සාගර තලයේ සිට අඩි 125ක් ඉහළින් සිටින පරිදි පිහිටා ඇත. එය වර්ග අඩි 1132 කින් සමන්විතය. අවන්හලක්, පුද්ගලික ආහාර ගැනීමේ අවකාශයක් හා වීදුරු බිත්ති සහිත පිහිනුම් තටාකයක් එහි පිහිටා තිබේ. එහි සිට අවට බලන අයකුට සාගරයේ මෙන් ම ගුවනේ අසිරිය ද අපූරුවට විඳගත හැකිය. කාමර සංඛ්‍යාව හෝ එහි ගමන් කළ හැකි සංඛ්‍යාව මෙන් ම යාත්‍රාවේ මිල ද තවමත් නිශ්චිතව ප්‍රකාශ වී නැත. ඇතැම් කාරණා ගැනුම්කරුවාගේ අවශ්‍යතාව මත තීරණය වීමට ඉඩ තිබේ.
අඩි 98ක් හෝ ඊට වැඩි දිගින් යුතු යාත්‍රා සුපිරි යාත්‍රා ලෙස වර්ග කෙරේ. මේ යාත්‍රාව එම අවම දිගට වඩා පස්ගුණයක් පමණ දිගින් යුතුය. එහෙත් නිර්මාණය කර අවසන් වූ පසුව වුවද මෙය එවැනි දිගින් වැඩි ම යාත්‍රාව නොවේ. අඩි 592.5 ක දිගින් යුතු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලක ෂෙයික් ඛලිෆා බින් සයද් අල් නහ්යාන් ට අයත් යාත්‍රාව ලොව දිගින් වැඩි ම නෞකාවය. එසේ වුවද ෂදායි යාත්‍රාවේ ඇති ප්‍රධාන කැබිනය ඇතුළු ඇතැම් විශේෂ අංග නිසා එය කැපී පෙනේ.
ප්‍රධාන කැබිනයේ සිට එම අත්දැකීම ලැබීමට අකැමැති අය හෝ එහි යාමට අවස්ථාවක් නැති අය වෙනුවෙන් තවත් පිහිනුම් තටාකයක් සැලසුම් කර ඇත. ඊට පහතින් වර්ග අඩි 3000 ක අවන්හලකි. ඒ මධ්‍යයේ අලංකාර මින් මැදුරකි. තටාකයේ වීදුරු පත්ල ඔස්සේ මින් මැදුර දර්ශනය වේ.
මහපොළවෙන් ඉහළට නැඟීම මානව වර්ගයාගේ මූලාරම්භයේ පටන් ම පැවැති ආසාවකි. ඊට කදිම නිදසුන් ලෙස බාබෙල් කුලුන, මිසරයේ පිරමිඩ මෙන් ම නූතනයේදී අහස සිඹින උස් ගොඩනැඟිලි ද දැක්විය හැකිය. වලාකුළු ස්පර්ශ කිරීමට දරන මෙවැනි ප්රයත්නයන්ට මුල්වූ අපේක්ෂාව ටෙරුසි ද සිය යාත්‍රාව මඟින් සපුරාගෙන තිබේ.
පහතින් ත්‍රිමාන දර්ශන බලන්න